Showing posts with label Discussion. Show all posts
Showing posts with label Discussion. Show all posts

Friday, August 7, 2015

සන්නස්ගලගේ ශුකාණු සහ ප්‍රභාකරන්ගේ දරුවෝ


සන්නස්ගල විසින් සෑහෙන්න පොත් ලියා ඇත. ඒ බොහොමයක් පොත් තරුණ පරපුර ඉලක්ක කරගත් පොත් පත්ය. මේ දිනවල සන්නස්ගලගේ පොත් ආයෙත් දිගහැරෙන්නේ හෙතෙම එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත්වන නිසා පමණක් නොව, සන්නස්ගලගේ පොතක කවරයේ ඇති “වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ශුකාණුවක කතාවක්“ ගෙවිඳු කුමාරතුංඟ විසින් උපුටා ගැනීම නිසාවෙන්ය. එය උපුටාගනිමින් කියා සිටියේ සන්නස්ගල බෙදුම්වාදය වපුරන්නට කටයුතු කරන්නෙක් බවත්, එය ඔහුගේ පොත්වලින්ම එළියට පැන ඇති බවත්ය.

   මේ සිදුවීමේදී ඇතමෙක් සන්නස්ගල බෙදුම්වාදියෙක් ලෙස හඳුන්වමින් ඔහුව පතුරු හරින අතර, අනෙක් පසින් ඔහු සාධාරණීයකරණය කිරීම උදෙසා තවත් පිරිසක් ගෙවිඳු කුමාරතුංඟගේ පතුරු හරිමින් සිටිති. ඇතමෙක් ගෙවිඳුගේ සීයා වන කුමාරතුංඟ මුනිදාස විද්වතාද ඒ ප්‍රශ්නවල කොණකට ගාවගෙන ඇත. මෙම සිදුවීම අඳුරේ අතපතගා පසෙක දැමිය හැකි සිදුවීමක් නොව.

   එක් පැත්තකින් මතුකල හැකි කාරණය වන්නේ සන්නස්ගල විසින් ලියන ලද “පිරිමි ගොඩයි, මම විතරයි“ නැමති පොතේ අභ්‍යන්තරයේ ඇති දෙබසක කොටසක් වන මේ ප්‍රභාකරන්ගේ ශුක්‍රාණු කතාව කල්පිත නවකතාවක කොටසක් මිස දේශපාලන ප්‍රකාශනයක් නොවන නිසාවෙන් එතරම් දරුණුවට නොගෙන පසෙක දැමිය යුතුය යන්නය. ඇතැම්විට සන්නස්ගල දේශපාලනයට බැස්සේ නැතිනම් කිසිම දිනක අදාල නවකතා පොතේ ප්‍රභාකරන්ගේ ශුකාණුවද කලඑළි නොබසින්නට බොහෝ දුරට ඉඩ තිබිණි. එසේනම් ඒ ශුක්‍රාණුවෙන් ජීවයක් උපදින්නේද නැත, නමුත් අදාල ශුකාණුව ගෙවිඳු කුමාරතුංගගේ ප්‍රකාශය නැමති ඩිම්බය සමග සංසේචනයවීමත් එක්ක බිහිවන්නේ එක් පැත්තකින් බෙදුම්වාදයේ හංවඩුවක් සහ රැඩිකල් පොතක කල්පිත සිද්ධියක් යන එකිනෙකට වෙනස් නිවුන් දරුවන් දෙදෙනාය.

   වරක් එක් මාධ්‍යවේදියෙක් නැසීගිය මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මහත්මාගෙන් අසා සිටියේ “මළවුන්ගේ අවුරුදුදා“ කෘතියේ එන දෙවොන්දරා සංගේ සහ නොරිකෝ ගේ පුවත රචකයා මුහුණදුන් සත්‍ය සිදුවීමක් ද යන්නයි. ඒ මන්දයත් එකල එම කෘතිය ජනප්‍රියත්වයේ හිණි පෙත්තේ සිටීම සහ අදාල කතා පුවත සරත්චන්ද්‍ර ජපානයේදී මුහුණදුන් සත්‍ය සිදුවීමක් බවට පැතිරුණ කටකතාව නිසාවෙන්ය. එයට උල්පන්දන් දුන් සරත්චන්ද්‍ර මහතා ජපන් යුවතියක් සමග කුළුපගව සිටින ඡායාරූපයක්ද එකල ප්‍රසිද්ධියට පත්වීම එක පසකින් අදාල ප්‍රශ්නය ඇසීමට සාධාරණ හේතුවක් විය. නමුත් එයට සිනාමුසු මුහුණින් පිළිතුරු ලබාදුන් සරත්චන්ද්‍ර මහතා කියා සිටියේ “සාහිත්‍ය වනාහි සත්‍ය සහ කල්පිතය අතර අවකාශයේ ඇති සංසිද්ධියක්“ බවයි. 

   එහෙත් සරත්චන්ද්‍ර එලෙස පැවසුවත් අද පවා පිළිගත හැකි කාරණය වන්නේ සරත්චන්ද්‍රගේ සාහිත්‍යය ඔහුගේ පුද්ගලික ජීවිතය හා දැඩිලෙස බැඳී තිබුණ බවයි. ඉතා සංවේදී පුද්ගලයෙක් වූ හෙතෙම සිය යෞවන ප්‍රේමයේ විප්පයෝගය නිසාවෙන් පසුකලෙක “මනමේ“ නිර්මාණය කර අදාල සිදුවීම සිතේ සාධාරණීකරණය කරගත් බවත්, සිය දියණියගේ විවාහය හේතුවෙන් සිතේ ඇතිවන වෙන්ව යාමේ වේදනාව සමනයට “සිංහබාහු“ තුලින් සිංහ සීවලී වෙත සිංහයාගේ බැඳීම මනාලෙස පෙන්වූ බවත්ය. එය සමකාලීනයන් පවා විග්‍රහකල කාරණයකි. ඒ නිසාවෙන් මළවුන්ගේ අවුරුදුදා හි එන නොරිකෝද ජපානයේදී හමුවූ ප්‍රේමයක් බවට තාර්කිකව සත්‍යාපනය කලහැක. ඒ තර්කයෙන් බිඳවැටෙන්නේද සරත්චන්ද්‍ර කියූ සාහිත්‍යය කල්පිතයක් යන ප්‍රකාශනයමය. එහෙත් ඔහු කියා ඇත්තේ සත්‍ය හා කල්පියත අතර අවකාශයක පවතින යමක් ලෙස සාහිත්‍ය හැඳින්වීම නිසා එය සත්‍යය පැත්තට බරවිය හැකිබවත් සියයට පනහේ පනහේ ශක්‍යතාවක් ඇති බවයි.

   අනෙක් අතට මතුවන කාරණය වන්නේ 2009 දි මුලතිව් නන්දිකඩාල් කලපුවේදී වේළුපිල්ලේ ප්‍රභාකරන් නැමති ත්‍රස්ත නායකයා ඝාතනයට ලක්වන තුරාවට සන්නස්ගලගේ සාහිත්‍යයේ ප්‍රභාකරන් සිටියේද යන්නයි. ලේ කිරිකැටියන් පවා පෙතිගසා දැමීමට අණදුන්, ලෝක උරුමයන්ට පවා බෝම්බ හෙලූ, තමන්ගේ වර්ගයේ මිනිසුන් මරා දැමූ ප්‍රභාකරන්ගේ ශුකාණු ගැන 2009 මැයි මසට පෙර ලියවුණු සන්නස්ගලගේ කිසිඳු ප්‍රකාශනයක සඳහන් වන්නේ නැත. එසේනම් 2009 ට පෙර සන්නස්ගල තමන්ගේ අමු සිංහල පොතක පිටුපස කවරයේ ප්‍රභාකරන්ගේ ශුකාණු ගැන කතා කරානම් එකල සමාජයේ පැවති තත්වය අනුව සන්නස්ගලගේ ශුකාණු කෙසේ වෙතත් සුළු දිය පහවන තුරු අසන්නට කාරණා තිබිණි. ප්‍රභාකරන් මරාදැමූ පසු සන්නස්ගලගේ පොත්වල ප්‍රභාකරන්ගේ ශුකාණු ගැන ලියවීමත්, වැල්වැටිතුරේ ප්‍රභාකරන් උපන් ගෙයි බිත්තිවල දෙමළ ජනතාව වීර කවි ලිවීමත් අතර සංසිද්ධිමය සමානත්වයක් පෙනීම අත්‍ය සුචරිතවාදී හිංඟලයන්ට නොපෙනුනද, සාමාන්‍ය එදිනෙදා පත්තරය කියවන සිංහලයෙකුට වුව එය පෙනීයනු ඇත.

   ඇරත් රටතුල තහනම් සංවිධානයක, ඝාතනය කරන ලද ත්‍රස්ත නායකයෙක්වන ප්‍රභාකරන්ගේ ශුකාණුවක් තමන්ගේ කතා පොතක ප්‍රධාන උපුටනයක් බවට පත් කරන්නට සන්නස්ගලට තිබූ වුවමනාව කුමක්ද? එයට සාධාරණ නිර්වචනයක් දිය හැකිද යන්න ගැටළුවකි. බෙදුම්වාදය පසෙක තබා, ජාතීන් කුලප්පු කිරීම පසෙක තබා සලකා බැලිය යුතු කාරණයක් ලෙස එය හැඳින්විය යුතුය. වෙනත් කිසිඳු ශ්‍රී ලාංකික රචකයෙක්ට නොතිබූ ප්‍රභාකරන්ගේ ශුකාණු උණක් සන්නස්ගලට වැළඳෙන්නේ ඇයි? ගැටළුව ඇත්තේ එතනය.

   සන්නස්ගලගේ පුද්ගලික චරිතය, ප්‍රශ්න පත්‍ර හොරකම, ඔහුගේ ඊනියා ප්‍රකාශන අපට වැඩක් නැත. එහෙත් සිහිකල යුතු කාරණයක් තිබේ. ඇතැම් ඈත ගම්වල පමණක් නොව නගරවල පවා වැඩිමහළු දෙමව්පියන් අද පවා ජනතා විමුක්ති පෙරමුණ හඳුන්වන්නේ “චේ ගුවේරා කාරයින්“ ලෙසයි, රෝහණ විජේවීරගේ නමට පවා ඔවුන් බියවෙති. ජනතා විමුක්ති පෙරමුණට ඡන්දයක් දෙන්නට පවා ඔවුන් කිසිකලෙක නොසිතති. එයට හේතුව ඔවුන්ගේ පැත්තෙන් සාධාරණය, එනම් මීට දශක තුනකට සහ හතරකට පෙර චේ ගුවේරා කාරයින්ගෙන් සහ විජේවීරගෙන් ඒ මිනිසුන් දැඩිලෙස පීඩා වින්ඳහ. අද පරපුරට විජේවීර වීරයෙක් වුවත්, එදා රටේ බහුතරයකට විජේවීර ත්‍රස්තවාදියෙක් විය. අද පරපුරට විජේවීර විප්ලවවාදියෙක් වුවත්, එදා පරපුර විජේවීර නිසා විඳි ගැහැට අදටත් සිහිකරනවාටද අකමැතිය. 

   සන්නස්ගලලා ප්‍රභාකරන්ගේ ශුකාණු ගෙනයන්නේ එල්.ටී.ටී.යේ ගැහැට මතක අද පරපුරට නොව හෙට පරපුරටය. නිසැක වශයෙන්ම තව දශක කීපයක් ඇතුලත මෙරට ප්‍රභාකරන් විප්ලවවාදියෙක් ලෙස සැමරීම, මහින්ද රාජපක්ෂ ඇතුළු එවකට යුධ වීරයින් මිලේඡයන් බවට එම සැමරීම්වලදී පත්වීම අනිවාර්යයෙන්ම සිදුවනු ඇත. එය ඉර හඳ මෙන් විශ්වාසය. සන්නස්ගලලා සංසේචනය කරන්නේ අන්න එදාට ප්‍රභාකරන්ගේ දරුවන් බිහිකරනු වස් අද වැදගත්වන ශුකාණු වේ. ඒවා සන්නස්ගලලාගේ ශුකාණු නොවන බව මෙන්ම ඒවා සන්නස්ගලලා විසින් කුලියට ගත් ශුකාණු පමණක් බවත් සිහිතබා ගත යුතුය.

lankawords@gmail.com
   

Saturday, August 1, 2015

ඒ සීනු හඬ මනාප පොරයට වැටුණ හැටි



අදටත් ශ්‍රී ලාංකේය දේශපාලනයේ ප්‍රතිපත්තියක් ඇති පක්ෂයක් කියා ආසාවටවත් පෙන්වන්නට ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ පමණක් බව කිව යුතුය. අනෙකුත් ප්‍රධාන පක්ෂ සහ අවශේෂ බෝඩ් ලෑලි පක්ෂ ප්‍රතිපත්ති නමට පමණක් තබාගෙන සිටියදී ජ.වි.පෙ පැමිණි ගමන ගැන සතුටුවිය යුතුය.

   රෝහණ විජේවීර නැමති දක්ෂ සහ දර්ශනයක් තිබූ මිනිසා විසින් බිහිකල ජ.වි.පෙ මූලාර්ම්භයේ සිටම දේශපාලනය සිදුකල යුත්තේ එය ඉගනගැනීමෙන් අනතුරුව බව දැඩිසේ විශ්වාසකලහ. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු විසින් බිහිකල සංවිධානය තුල ප්‍රතිපත්තවලට වැඩි ඉඩක් ලැබිණි. පක්ෂ සංස්කෘතිය තුල විකල්ප නාමයන් භාවිතය, පක්ෂයේ විනය, සමානාත්මතාව, රහස්‍යභාවය වැනි සංකල්ප තුලින් මෙන්ම දැනුම භාවිතය සහ වර්ධනය තුලින්ද ජ.වි.පෙ මෙරට පක්ෂ දේශපාලන කලාවේ වෙනසක් ඇතිකල පක්ෂයක් විය.

Wednesday, July 15, 2015

මෛත්‍රීපාල සිරිසේන ගැලවීමේ ගීතය



මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඊයේ රාත්‍රී සිදුකල විශේෂ ප්‍රකාශය තුලින් ඇතැම් ශ්‍රී.ල.නි.ප ක්‍රියාකාරීන් ඔහු කෙරෙහි කළකිරීමක් ඇති කරගැනීමත්, ඔහු තවදුරටත් පක්ෂය වෙනුවෙන් පෙනී නොසිටින පක්ෂ නායකයෙක් යන තීරණයටත් පැමිණ ඇත. එසේම එම ප්‍රකාශය නිසාවෙන් එක්සත් ජාතික පක්ෂය ඇතුළු සන්ධාන විරෝධී පක්ෂ චූන් වී ඇති ආකාරය පැහැදිලිය. 

   ඊයේ මෛත්‍රී සිදුකල කථාව සමාන වන්නේ රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා ලලිත් ඇතුලත්මුදලි ඝාතනය වීමෙන් පසු සිදුකරන ලද විශේෂ ප්‍රකාශයටය. එදා ඇතුලත්මුදලි ඝාතනයේ චෝදනාවට ප්‍රේමදාස දෙසට ඇඟිල්ල දිගුකරන විට විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම සඳහන් කලේ “මාගේ දෙසට ඇඟිල්ල දිගුකරන විට තමන් දෙසට ඇඟිල් හතරක්ම දිගුව ඇති බව අමතක නොකරන්න“ කියාය. එදා ප්‍රේමදාසගේ කතාව දැඩි ලෙස විවාදයට තුඩුදුන් කතාවක් මෙන්ම හෙතෙම කිසිකලෙක නොකල ආකාරයේ වෙනස්ම මාදිලියක හංස ගීතයක් ලෙස එය නම්වුණි. ඊයේ මෛත්‍රීද සිදුකලේ එවැනිම  හංස ගීත වැයීමකි. එය හංස ගීතයකටත් වඩා ගැලවීමේ ගීතයක් ලෙස නම්කල හැක.

   මෛත්‍රීට එරෙහිව එල්ලවූ චෝදනාව හෙතෙම ජනවාරි 8 ජනවරම පාවාදුන්නා යන්නයි. බහුතරයක් ජනතාව ප්‍රතික්ෂේප කල මහින්ද රාජපක්ෂ චරිතයට නැවත බලයට පැමිණීමට යම්හෝ ඉඩකඩක් සකසා දීම තුලින් මෛත්‍රී පාලනයක් පිළිබඳ විශ්වාසය තැබූවන් මෛත්‍රී දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක්කරන ලදි. මෛත්‍රී එයට පිළිතුරු සැපයීම උදෙසා සිදුකල ඒ ප්‍රකාශය ජනපතිවරයෙක් ලෙසින් සිදුකල හැකි ප්‍රකාශයක්ද යන්න ගැටළුවකි. එය හිටපු ජනපතිගේ “ෆයිල් කතාවට“ දෙවනි නැත.

   ඔහුගේ කතාවේ හරය වූයේ ඔහු නිර්පාක්ෂික බව සහ ඔහු ජනවරම පාවා නොදුන් බවය. එසේ නිර්පාක්ෂික බව පුන පුනා කී මෛත්‍රී අදත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක තනතුරු පිරිනැමුවේ කෙසේද කියා මත ඝට්ටනයක් පැන නගී. එසේම ඔහු සුළුතර එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රැක ගැනීමට මුර දේවතා කාර්යභාරය සිදුකල ආකාරය කතාවේ සියයට හැත්තෑ පහකට වැඩි ප්‍රමාණයක සඳහන් කර ඇත. ජනවාරි 8 ජනවරම මෛත්‍රී වෙත ලබාදුන්නේ එසේ සුළුතර ආණ්ඩුවක් රැකීමට ද යන්න තවත් පැනයකි. 

   එසේම ජනාධිපතිවරයෙක් ලෙස විශේෂ ප්‍රකාශක් තුලින් හිටපු ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය විවේචනය කිරීම, පරාජය අපේක්ෂා කිරීම කොතරම් දුරට සදාචාරසම්පන්නද සහ එය තනතුරට ගැලපේද යන්න සිතා බැලිය යුතුය. එසේම ඔහු විසින් සිදුකල බරපතලම ප්‍රකාශය අගමැතිවරයා බේරා ගැනීම උදෙසා පාර්ලිමේන්තුව විසුරවා හැරීම යන කාරණාය. මෛත්‍රී පාලනයක් තුල ජනතාව ජනපතිවරයෙකුගෙන් කිසිසේත්ම මේ ආකාරයේ ක්‍රියාකාරකම් අපේක්ෂා කලාදැයි සැක සහිතය.

   මෛත්‍රීට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වූයේ තමන් නිර්දෝශීබව කියා පෑමයි. ලතින් කියමනකට අනුව If someone proves, too much..proves nothing යන්න ප්‍රායෝගික තත්වයකි. එනම් කවුරුන් හෝ යම් දෙයක් ඕනෑවට වඩා ඔප්පු කිරීමට උත්සහ කරයි නම් ඔහු කිසිවක් ඔප්පු කිරීමට අසමත් වේ යන්නයි. මෛත්‍රී මේ මොහොතේ ප්‍රකාශ කරනවාට වඩා එය ක්‍රියාවෙන් ඔප්පු කරානම් ඔහු ජනපති පදවියේ තැබූවන් අතරින් එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ අභිලාෂයන් ඉටු නොවුනත් මැදිහත් මතධාරීන්ගේ ගෞරවය ලැබෙනු නිසැකය. එසේම නමට හෝ තමන් නායකත්වය දරණ, තමන් නියෝජනය කරන, තමන් පෝෂණය වූ පක්ෂයේ පරාජය ප්‍රාර්ථනා කරන එකම පක්ෂ නායකයා මෛත්‍රීපාල සිරිසේන විය හැකිය. ඔහු දේශපාලනයට හෝ ජනාධිපති පදවියට ආකාස්මිකව පහල වූවෙක් නොවේ. ඔහු කලක් තිස්සේ හඬු ගඳගහන දේශපාලනය තුල ජීවත්වී එකපාරට රහත් වූවෙක් ලෙස එය පිළිකුල්කර දැමීම ප්‍රායෝගික නොවේ. මෛත්‍රීගේ අධි රංගනය තුලින් ඔහු වගා කරන දේ ඔහුට නෙලාගන්න සිදුවනු ඇත

Monday, July 13, 2015

හෙළ උරුමයේ තීරණය අසාධාරණද?



ජාතික හෙළ උරුමය දැන් එක්සත් ජාතික පක්ෂය යටතේ අලියා ලකුණින් මහ මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර ඇත. ඇත්ත වශයෙන්ම ඉදරිපත්වීමට සිදුවී ඇත ලෙස එය සංශෝධනය විය යුතුය. මේ මොහොතේ ජාතික හෙළ උරුමය වෙනුවෙන් චම්පික රණවක සහ අතුරලියේ රතන හිමි දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇත්තේ ඒ ගත්තා වූ තීරණය සමගය. 

   අනූව දශකයේ බිහිවුණු සිවිල් සංවිධාන අතර “සිංහල වීර විදහන“, “ජනතා මිතුරෝ“ වැනි නම් ඉතා ඉහලින් සිටි බව අප දන්නා කරුණකි. එවකට ත්‍රස්තවාදය, රාජ්‍ය ත්‍රස්තවාදය, තරුණ කැරළි තුලින් අවුල් ජාලාවක් වී තිබු ලංකාවට එම සිවිල් සංවිධාන ජාතිකත්වයේ උත්තේජනයක් ලබාදුන්හ. “සිහළ උරුමය“ ලෙස කලඑළි බසින් දේශපාලන පක්ෂය තුලට අදාල සිවිල් සංවිධාන මෙන්ම එවකට ශ්‍රී ලාංකේය දේශපාල සන්දර්භය තුල සිටි විද්වතුන්, ජාතිකවාදීන් සහ හිටපු සමාජවාදීන් රොක්වන්නේ එය නවතම දේශපාලනික මුහුණුවරක් නිසාවෙන්ය. සැබෑ ලෙසම ඔවුන් දේශපාලනයේ උඩුගංබලා පිහිනීම ආරම්භකලහ. 

   2002 රනිල් වික්‍රමසිංහ රජය යටතේ සටන් විරාම ගිවිසුම හරහා එල්.ටී.ටී.ඊ සංවිධානය මඩි තරකරගනිද්දී පිරිස් බලය, සන්නද්ධ බලය මෙන්ම ජාත්‍යන්තර සහයෝගයෙන්ද ප්‍රබල වෙද්දි සාම ගිවිසුම නැමත පිරුවටයෙන් දෑස් වසාගෙන එවකට එ.ජා.ප රජය අන්ධයන් සේ සාමය පිටුපසම දුවමින් සිටියහ. ඔමන්තෙට පැමිණ ත්‍රස්තවාදීන් හමුදා කඳවුරු වලට ගල් ගසා, සෙබළුන්ට පශ්චාත්භාගය පෙන්වා යන විට හමුදා සෙබළුන් ලේ කකියමින් ඉවසා සිටියහ. වේළුපිල්ලේ ප්‍රභාකරන්ට රාජ්‍ය ප්‍රභූ සැලකිලි ලැබෙද්දී, ඇන්ටන් බාලසිංහම්ලා උඩගුවනින් ඉරණමඩු වෙත සැපත්වෙද්දී සිහළ උරුමය ඉවසා නොසිටියහ. දීන බවින් පසුවූ ශ්‍රී ලාංකේය සංහතියට නැවත සිංහ කොඩිය මතක් කර දුන්නේ සිහළ උරුමයයි. මානිරාසකුලම් කඳවුර වෙත පාද යාත්‍රා කොට එතැන් සිට ඊනියා සාම ගිවිසුම අකර්මණ්‍ය කරන ලෙස බලකලේ සිහළ උරුමයයි. අවසානයේ රනිල් වික්‍රමසිංහ රජය කොටි ලේබලයද අලවාගෙන ගෙදර යන්නට සිදුවීමේ පිටුපස පළමු වෙඩිමුරය තැබුවේ සිහළ උරුමයයි.

    ඉන් අනතුරුව පැවදි නියෝජනයද එක්කරගෙන ජාතික හෙළ උරුමය ලෙස ඉදිරියට පැමිණෙද්දී කොතරම් බාධක කම්කටොළු එල්ලවුනිද යන්න ජන සමාජයට මතක බව නිසැකය. 2004 දී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් මාවිල්ආරු වසා දමා දෙමළ සිංහල ජනතාවගේ ජල අවශ්‍යතාව රුදුරු ලෙස උදුරාගනිද්දී එදා “අපි තොපේය - බිම අපේය“ මැයෙන් මාවිල් ආරු ගොසින් සන්ධාන රජයට නිවට නියාලු සාමයෙන් ගැලවී ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන ලෙස බලකලේ හෙළ උරුමයයි. එදා මාවිල්ආරුවේ සිංහ කොඩිය තවමත් අපට මතකය. හෙළ උරුමය ජාතිකවාදිත්වය සමග මහින්ද රාජපක්ෂ රජය සමගින් ගිවිසුම්ගත වූයේ ප්‍රධාන වශයෙන්ම එවකට පැවති ත්‍රස්තාවදය පරාජය කල ඒකීය රටක සිහිනය වෙනුවෙන්ය. ඔවුන් ඒ ගිවිසුම තුල වෙන කිසිවක් අපේක්ෂා නොකළහ. එදා එල්ලාවල හිමියන්, ඕමල්පේ හිමියන්, චම්පික, ගම්මන්පිල, උඩුවේ හිමියන් වැනි ප්‍රබලයින් සෘජුවම රජයට ත්‍රස්තාවාදයට අවියෙන් පිළිතුරු ලබාදිය හැකි බව පසක් කරමින් රජයට කොන්දක් දෙන්නට කටයුතු කලහ. 

   හමුදා ප්‍රහාර වලින් දේශපාලන අංශ නායක තමිල් සෙල්වම් මිය ගිය දිනට පසුදින ලංකාව පුරාම ඇලවුණු පෝස්ටරේ ප්‍රභාකරන්ගේ රුවට අවියේ ඉලක්කය මානා යටින් ලියා තිබුණේ “ඔව් එය කල හැකිය“. හෙළ උරුමය රටටම ධනාත්මකව කියා සිටියේ ප්‍රබාකරන් විනාශ කල හැකි බවයි. එහෙව් හෙළ උරුමයට එදා යුද්ධයට අකුල් හෙළු එක්සත් ජාතික පක්ෂය සමග එකට තරඟ කරන්නට වීම සාධාරණද අසාධාරණද යන්න සිතා බැලිය යුතු කරුණකි. 

   පෙර සඳහන් කල පරිදිම  හෙළ උරුමය මහින්ද රාජපක්ෂ රජය සමග ගිවිසුම්ගත වන්නේ ඒකීය සංකල්පය පෙරටු කරගෙන ත්‍රස්තවාදය විනාශ කිරීම කල හැක්කේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රජයට බව දැඩිසේ විශ්වාස කල නිසාය. එවකට මහින්ද රාජපක්ෂ රජයේ මතවාද සහ හෙළ උරුමයේ මතවාද අතරත් වෙනස්කම් තිබිණි, නමුත් ඒ වෙනස්කම් පලෙකලා මහින්ද රාජපක්ෂ රජය හෙළ උරුමය සාදරයෙන් පිළිගත්තේත්, හෙළ උරුමය රජයට එක්වුනේත් ඒ මොහොතේ එය විශාල ශක්තියක් මෙන්ම සංග්‍රාමික සාධකයක් ලෙස දැන උන් බැවින්ය. එහෙව් මහින්ද රාජපක්ෂ රජයේ දූෂණ වංචා සමග සහ හෙළ උරුමය තුල බෙදීම් නිර්මාණය කරන සාධක සමග ගමනක් යා නොහැකි බව තේරුම්ග්තතේ 2011න් පසුය. යුධමය ජයග්‍රහනයේ අයිතය හෙළ උරුමය සතුවද ඇත. 

  අද හෙළ උරුමය එක්සත් ජාතික පක්ෂය, මුස්ලිම් කොංග්‍රසය,මනෝ ගනේෂන් සමග සන්ධාන ගතවෙන්නේද මතවාදීමය ප්‍රශ්න තිබුණත් යහපාලනය වෙනුවෙන් ගමන් කල හැක්කේ එජාප ය ප්‍රමුඛ රජයකට පමණක්ය යන චින්තනයේ සිටය. එය ඔවුන්ගේ පැත්තෙන් සාධාරණය. අනික් කාරණය සෘජුවම මහින්ද රාජපක්ෂ පරාජයට මැදිහත්වූ හෙළ උරුමයට නැවත මහින්ද රාජපක්ෂ ප්‍රධාන චරිතය හොබවන සන්ධානයක් යටතේ රෙදි ඇඳගෙන තරඟ කල නොහැකිවාක් සේම ඔළුව අතගා අනින ටොකු ඉවසිය නොහැකි නිසාය. අනික් කාරණය තනිව තරඟ කලහොත් නිසැකව පාර්ලිමේන්තු අසුනද අහිමිවන මැතිවරණ ක්‍රමයක් යටතේ එසේ වුවහොත් දේශපාලන ගමන එතනින්ම අවසන් වනු ඇත, ඒ මන්ද රතන හිමියන්ට, චම්පිකලාට පළාත් සභාවේ ඉඳන් කල හැකි යමක් ඇත. එසේම ඔවුන්ගේ දායකත්වය පාර්ලිමේන්තුවක තිබිය යුතුමය. ඉතිරිවන විකල්පය ප්‍රධාන පක්ෂ දෙකෙන් එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමය. එය කිසි ලෙසකවත් හෙළ උරුමයේ ජාතිකවාදී ප්‍රතිපත්තියට සමපාත නොවන්නක් වුවත් මේ මොහොතේ කල හැකි අන්යමක් නැති බැවින් හෙළ උරුමය එම විකල්පය තෝරාගෙන ඇත.

   සාමාජ ජාලයන් තුල හෙළ උරුමයේ මතය දැරූ ක්‍රියාකාරීන් ඉතාම අසරණ මට්ටමට පත්කරවන තීරණයක් බවට එය පත්ව ඇතිවීමෙන් එය චම්පිකලාට, මෙන්ම සාමාන්‍ය හෙළ උරුම පාක්ෂිකයාට කොතරම් තදින් පහර වදින කාරණයක්ද යන්න අවබෝධවනු ඇත. බොහෝ සමාජ ජාල ක්‍රියාකාරීන් දේශපාලනය සම්බන්ධව කතා කිරීමේන පවා වැලකීමට ඊයේ සිට තීරණය කර ඇත, තවත් සමහර හෙළ උරුම පාක්ෂික සාමාජ ජාල ක්‍රියාකාරීන් කොතරම් ගල්, පොලු මැද වුවද හෙළ උරුමයේ ස්ථාවරය දරමින් සිටී, ඇතමෙක් දෝෂාරෝපණ වලට එරෙහිව රළු ආකාරයෙන් කටයුතු කරමින් සිටී. හෙළ උරුමයේ උත්තරීතර මණ්ඩලය ගත්තාවූ තීරණය තුලින් බොහෝ සෙයින් ජාතිකවාදී, එක්සත් ජාතික පක්ෂ විරෝධී පිළිවෙතක් අනුගමනය කල පාක්ෂිකයාට එල්ලවූයේ කණේ පහරකි. නමුත් ඔවුන් අසාධාරණ නැත. වෙනකක් තබා පසුගිය සති කීපයේ මහබැංකු අධිපතිගේ ක්‍රියාකලාපය, අගමැතිගේ සහ ඇමති මණ්ඩලයේ ක්‍රියාකලාපය දැඩිසේ විවේචනය කල චම්පික රණවකට පවා රනිල් වික්‍රමසිංහ සමග ගිවිසුම්ගතව කිරිබත් කන්නට වීම දෛවයේ සරදම්ය. එහෙත් එදා සන්ධානය සමග ගිවිසුම්ගතවන විට චම්පිකලාගේ මුහුණේ තිබූ සිනහව ඊයේ රනිල් සමග ගිවිසුම්ගතවන විට මුහුණේ නැත. එම තීරණය හෘද සාක්ෂියට එකඟව ගන්නා ලද්දක්ද යන පැනය අප වෙත එන්නේ එවැනි හැසිරීම්වලින්ය.

   ශ්‍රී ලාංකේය දේශපාලනයේ කටුක යථාර්ථය එයයි. බලයේ රැඳී සිටීම පිණිස කරන්නට සිදුවන දේ ඉතාම අමිහිරිය. ඒ තුලින් ජාතික හෙළ උරුමය ගත් තීරණය අසාධාරණද යන්න විමසා බැලීම අප සිදුකරන ලදි. දේශපාලනයේ දෛවයේ සරදම්වලට අප එදා මෙන්ම අදද මුහුණ දෙමින් සිටිති. ප්‍රතිපත්ති ඉක්මවා බලය මතුවන විට බොහෝ දේ අතහරින්නට සිදුවනු ඇත. එක්සත් ජාතික පක්ෂය සමග ගිවිසුම් කොතරම් කලක් තිබේද කියා අපට අනුමාන කල නොහැක, එහෙත් ගසේ ගැසූ ඇණවල පැල්ලම් ගස මැරෙන තුරු මකා දැමිය නොහැක.

@Lanka Words

Saturday, July 11, 2015

හිරුණිකාගේ බඩ සහ මහින්ද රාජපක්ෂගේ බඩ


පසුගිය සතියේ අන්තර්ජාලයේ ශ්‍රී ලාංකිකයන් අතරේ දැඩිසේ හුවමාරුවූ සිදුවීම වූයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ විවාහය මොහොතේ ලබාගත් ඡායාරූප වලින් ඇය ගැබිණියක් බව පෙන්වා සිදුකල කුණු රස මඩ ව්‍යාපාරයයි. එය බොහෝ දෙනෙක්ගේ දැඩි විවේචනයට සහ හෙලා දැකීමට ලක්වූ සිදුවීමක් වූවත් හිරුණිකාගේ දේශපාලන චරිතය සහ පුද්ගලික චරිතය බිම වට්ටවා කුඩු කිරීමට කැමති අතලොස්සක්වූ මානසික රෝගීන්ට එය අගනා මස් කට්ටක් ලෙස සැලකිය හැකිය. එය ප්‍රචාරණය කල මානසික රෝගීන්ට දිය යුතු පිළිතුර වූයේ තමන්ගේ පෙම්වතියගේ, බිරිඳගේ, සොහොයුරියගේ හෝ මවගේ උදරය දෙස පරික්ෂාවකින් බැලුවහොත් ඇතැම්විට හිරුණිකාගේ මෙන්ම යමක් සොයාගත හැකිවනු ඇති බවයි. බොහෝවිට කාලයක් තිස්සේ ශරීරයේ හැඩය පිළිබඳ නොසලකා සිටින තරුණියන්ගේ වුව උදරය ඉදිරියට පැමිණීව වත්මන් ආහාර රටාවේ සහ අවිවේකයේ ගැටළුවකි. එසේ නොවී හිරුණිකා සත්‍ය ලෙසම ගැබිණියක් වුවත් එය ඔවුන්ට ගැටළුවක් නොවන්නේනම් අන් අයට ඇති ගැටළුව කුමක්ද කියා ප්‍රශ්න කෙරුණි.

   ඒ හා සමාන සිදුවීමක් නැවත මතුව ඇත. එනම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක හෂාන් තිලකරත්නගේ බිරිඳ අප්සරා හමුවූ මොහොතක ගත් ඡායාරූප කීපයක් ඇය විසින්ගේ ඇගේ ෆේස්බුක් ගිණුමට මුදාහැරීම සහ එහි සාමාන්‍යයෙන් දකිනවාට වඩා මහින්ද රාජපක්ෂ මහතාගේ උදරය සහ ශරීරයේ ස්ථූලතාව කැපී පෙනීම යන සිදුවීමයි. හිරුණිකාගේ බඩ ගැන විස්සෝපවී රළු විවේචන කල ඇතැම් පාර්ශවයන් මහින්ද රාජපක්ෂගේ බඩ සහ මහත අල්ලාගෙන දඟලන බව පෙනෙන්නට ඇත. ඒ අතර මෙරට ප්‍රකට පුවත් වෙබ් අඩවි කීපයක්ම ඇත. එම වෙබ් අඩවිවලට මේ දිනවල ඇති ප්‍රධානතම ඉලක්කය මහින්ද රාජපක්ෂ චරිතයේ ඇති පෞර්ශ්‍යත්වය සහ ආකර්ශණීය බව බිඳ දැමීමය. ඒ සඳහා අදාල ඡායාරූප භාවිතා කරමින් ඔවුන් කටයුතු කරති.


හිරුණිකාගේ කුණු කන්දල් සමහර පිරිස් රස කරද්දී එයට විරුද්ධ වීමටත් මහින්ද රාජපක්ෂගේ කුනු කන්දල් රසකරද්දී එයට එක්වී හුරේ දමමින් රසකිරීමත් තුල ඇත්තේ පුද්ගලානුබද්ධ වෛරයක් මිස සැබෑ ලෙසම මිනිසුන්ගේ කුණු කන්දල් ඇවිස්සීමට එරෙහිව නැගී සිටින ගුණාංගයක් නොවන බව පැහැදිලිය. හිරුණිකා මෙන්ම මහින්ද රාජපක්ෂද දේශපාලන චරිතයක්ය. දෙදෙනා සමගම අපට ඇත්තේ දේශපාලන ගණුදෙනුවක් මිස පුද්ගලික කෝන්තරයක් නොව. එනිසාවෙන් හිරුණිකා සේම මහින්දටද අනවශ්‍ය දේ අල්ලාගෙන ගහනවානම් කට ඇරීම සැබෑ ශ්‍රී ලාංකිකයෙක්ගේ යුතුකමය. 

   හිරුණිකා දේශපාලනයට නොආවානම්, අභීත ලෙස වේදිකාවල හඬ නොනැගුවානම් හිරුණිකාගේ බඩ පොඩඩක් වැඩියෙන් පෙනීම නොව දරුවෙක් වඩාගෙන විවාහ වුනත් මාධ්‍යයට සහ අවස්ථාවාදී දේශපාලනික කුක්කන්ට එය බුරන්නට හේතුවක් නොවනවා සහතිකය. එසේම මහින්ද රාජපක්ෂ කලක් මුලුල්ලේ ආකර්ශණීය පෞර්ශ්‍යයක් සහිතව වයස 70 ඉක්මවූවද ප්‍රතාපවත්ව නොසිටියානම් හෝ දේශපාලනය නොකරානම් මහින්ද අලියෙක් ගාණට මහත් වුනත් ඉහත කී මාධ්‍ය වලට හෝ කුක්කන්ට එය මස් කටුවක් නොවනවා සහතිකය. ගැටළුව ඇත්තේ පුද්ගලයන් දෙදෙනෙක් සම්බන්ධව පාර්ශව කීපයක් දෙයාකාරයකට කටයුතු කිරීමය.

   කාගේ හෝ කුණු ගොඩක් අවුස්සා සතුටු වීම සහ මුදල් ඉපයීම කරනවා වෙනුවට මෙරටට කලයුතු බොහෝ දේ මාධ්‍යයට සහ පුද්ගලයින්ට ඇත. කඩුවක් ඇති රණශූරයෙක්ට කිතිකවා පරාජය කර වැඩක් නැත. කඩුවෙන්නම් කඩුවෙන් සටන් කල යුතුය. එහෙත් මාධ්‍යය පිටුපස සිටින බොහොමයක් කශේරුකා උගසට තබා මුදල් උපයන්නෝය. ඔවුන්ට හිරුනිකාගේ බඩත්, මහින්දගේ බඩත් පමණක් නොව තම බිරිඳගේ, සහෝදරියගේ බඩ පවා මුදල් කල හැක.

@Lanka Words

Friday, July 10, 2015

එක්සත් ජාතික පක්ෂයට මෛත්‍රී එපාම වේ.


මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වන්නට වැඩිම දායකත්වයක් ලැබුණේ එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද වලින් බව විවාදයක් නැත. ඔහුගේ මුල්ම දේශපාලන පොරොන්දුව බවට පත්වුනෙත් පත්වන රජයේ අගමැතිවරයා බවට පත්කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවයි. ඒ පොරොන්දුවූ පරිදිම මෛත්‍රී එය ඉටු කරන ලදි, එසේම නව රජයේ අමාත්‍යධූරද බෙදී ගියේ එ.ජා.පයට වුවමනා ආකාරයට මිස මෛත්‍රීට වුවමනා ආකාරයට නොවන බව සත්‍යය. ගතවූ මාස හයක කාලය පුරාවටම මෛත්‍රීගේ වුවමනාවට වූයේ කාරණා කීපයක් පමණි. ඒ අතර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය, ඖෂධ පනත වැනි කාරණා ඒ අතරවේ. අනිකුත් සියළුම දේ සිදුවුනේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ එ.ජා.ප රජයේ වුවමනාවටය.

   එ.ජා.ප යට මුලින්ම අවශ්‍ය වූයේ මහින්ද රාජපක්ෂ කෙසේ හෝ ගෙදර යවා ගැනීමටයි. මහින්ද බලයේ සිටියදී කවර ලෙසකින්වත් තම පක්ෂයට බලයට පත්විය නොහැකි බව ඔවුන් දැන සිටියහ. එහිදී ඔවුන් භාවිතා කලේ “සතුරාගේ සතුරා අපේ මිතුරාය“ යන ප්‍රකට සංකල්පයයි. මෛත්‍රී වෙනුවෙන් එ.ජා.ප ය නැහුනේ තම පක්ෂයේ අනාගත සුභ සිද්ධියට මිස මෛත්‍රී කෙරෙහි හෝ රට කෙරෙහි ඇති ආදරයකට නොවන බව දැනගත යුතුය. මෛත්‍රී එ.ජා.ය ට අවශ්‍ය බොහෝ දෙයට ඉඩදී බලා සිටියහ. ඒ අතර රජයේ ශක්තිය වර්ධනයට ශ්‍රී.ල.නි.ප යද කෙටි කලකට දෙකට කැඩීමද සිදුකරන ලදි.

  එ.ජා.ප යේ අරමුණ තිබුණේ දින 100 ඇතුලත ඊළඟට රජයක් පිහිටුවීමට අවශ්‍ය පිටුබලය ලබාගැනීමයි. ජනප්‍රියත්වය, බලය, ශාඛා සමිති ජාලය, සංවිධායකවරුන් වැනි සාධක සවිබලගැන්වීම තුලින් දීර්ඝකාලීන ජයග්‍රහණයකට සහ ස්ථාවරත්වයකට පත්වීම ඔවුන්ගේ අභිලාශය විය. ඒ සඳහාද මෛත්‍රී නිසි ලෙස ඉඩකඩ ලබාදී තිබිණි. රාජපක්ෂ පාලනයේ රාජ්‍ය සම්පත් අයථා භාවිතය ගැන මොරදුන් එ.ජා.ප නායකයන්ම තමන්ගේ ගෝලබාල පලාත් පාලන මන්ත්‍රීවරුන්ට පවා රජයේ ආයතනවල හෝ අමාත්‍යංශවල වාහන ලබාදෙමින් කඩිනමින් පක්ෂය බලගැන්වීම කරන්නට උත්සහ කලහ. ඒ සඳහා අදාල කාල සීමාව කිසිසේත්ම ප්‍රමාණවත් බව පෙනෙන්ට නොතිබිණි. ඒ හා සමගාමීව ඔවුන් බලාපොරොත්තුවූයේ දීර්ඝකාලනීව මෛත්‍රී එ.ජා.පය හා ඇඳබැඳ තබාගැනීමට හෝ ඔහුව නිර්පාක්ෂික කිරීමටය. නමුත් ඔහු සිය දශක ගණනක ක්‍රියාකාරී දේශපාලන තෝතැන්න වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුල් පුටුව බාරගත් මොහොතේම එ.ජා.ප ය මුලින්ම ඔහු සමග හිත් නරක් කරගත්හ.

   ඉන් අනතුරුව එ.ජා.ප කථිකයන් තැන තැන මෛත්‍රීට ආඩපාලි කීම ආරම්භකර අතර ඒ තුලින් තව තව මෛත්‍රී ශ්‍රී.ල.නි.ප යට ලංවනු මිස වෙනසක් සිදුනොවීය. එ.ජා.ප යට තිබූ ලොකුම අවාසිය සිය ප්‍රබල දේශපාලන චරිත තමන් සතුව නොමැතිවීමයි. ඇතැමුන් පක්ෂය මාරු කර සන්ධානයේය, අනෙක අය පාර්ලිමේන්තුවේ හෝ දේශපාලනය තුල නැත. එබැවින් රජය දුවන්නට වූයේ වැඩකාරයන් සමගින් නොව, ඒ නිසාවෙන් මාස හයේ ආණ්ඩුවේ දුර්වලතා කෙමෙන් කෙමෙන් ජනතාව තුලට එන්නත් ඒ නිසාවෙන් රජය ගැන සහ යහපාලනය ගැන තිබූ බලාපොරොත්තු කෙමෙන් මැකී යන්නට විය. මහ බැංකු අධිපති හා බැඳුනු බැඳුම්කර සිදුවීම එහි එක්තරා කූටප්‍රාප්තියකි. මහින්ද රාජපක්ෂ පාලනය අවුරුදු පහ හයක් ගිය පසු සිදුකල දේවල් එ.ජා.ප ය යහපාලනය කරපින්නාගෙන පැමිණි රජය යටතේ මාස හයක් ඇතුලත සිදුවීම තුලින් ජන මතය ඔවුන් කෙරෙන් ඈත් වන්නට විය. 

   වේගයෙන් සේදී යන ජන මතය අස්සේ මහින්ද රාජපක්ෂ නැවත මැතිවරණ සටනට පිවිසීම තමන්ට සුභදායී නොවන බව දත් එ.ජා.ප ය මුලින්ම මෛත්‍රීට බලකලේ ඔහුට සහ ඔහුගේ සගයන්ට සන්ධානයෙන් නාම යෝජනා නොදෙන ලෙසටය. මෛත්‍රීත් මුලදී ඒ ස්ථාවරයේ සිටියත් තමන් නායකත්වය දරණ පක්ෂයේ බිම් මට්ටමේ සිට ඉහලට ගලා එන පීඩනය සහ ජනතා මතයට හිස නොනමා සිටීමට තරම් මෛත්‍රී පොරක් නොවීය. පරාජයන් ගණනාවක් හමුවේ බිම් මට්ටමේ පාක්ෂිකයා පවා යන්නට කියද්දි, එය නොඇසුනා සේ රනිල්ට කටයුතු කල හැකිවුවද මෛත්‍රීට එසේ කල නොහැකිවිය. මෛත්‍රී එහිදී පුද්ගලික ප්‍රතිපදාවට වඩා තමන් දැන් සිටින තැන නියෝජනය කරන ජනතාවගේ මතයට නම්‍යශීලි විය. එය එ.ජා.ප යට රුස්සන දෙයක් නොවීය. දැන් ප්‍රසිද්ධියේ මෛත්‍රීට පහර දෙන්නේ අන්න ඒ නිසාය.

   එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය බලකාය මෙහෙයවන වෙබ් අඩවි අද දවස පුරා එක් පසකින් මෛත්‍රීට ගුණමකුවා කියා නොකියා පහරදෙති, අනිත් පැත්තෙන් මහින්ද රාජපක්ෂට පහර දෙති..වේගයෙන් පහල බසින සමාජ ජාල තුල එක්සත් ජාතික පක්ෂයට හිතවත් ජනමතය රැකගැනීමටද සිදුකරන්නේ ඉහත කාරණයමය. අද පූර්ණකාලීනව පිරිස් යොදවා මෛත්‍රීට සහ මහින්දට ද්වේශ සහගතව පහරදීම්, අසත්‍ය චෝදනා, අසත්‍ය පුවත් මවමින් සුපුරුදු මාධ්‍ය මාෆියාවට එ.ජා.පය පිවිස ඇත. එ.ජා.ප රජයක් බිහිවුවහොත් ඒ මාධ්‍ය මාෆියාවට වසර ගණනකට නතුවන්නට අපට සිදුවනු ඇත. එ.ජා.ප යට වීරයෙක් වූ මෛත්‍රී එක රැයින් ද්‍රෝහියෙක් වන්නේ පරාජය කල මහින්ද රාජපක්ෂ නිසානම් එ.ජා.ප යට කල යුතුව ඇත්තේ වරක් පැරදූ මහින්ද තවත් වරක් පරාජය කිරීම මිස මෛත්‍රීගේ පළු ඇරීම නොව. මෛත්‍රී අද ඉන්නා වාතාවරණයේ රනිල් වික්‍රමසිංහ සිටියත්, අනුර කුමාර දිසානායක සිටියත්, පාඨලී චම්පික රණවක සිටියත් කරන්නේ ඒ දෙයම බව බුද්ධියෙන් සිතා බැලිය යුතුය.

@Lanka Words

Discussion

Sports

Featured

 

© 2015 Lanka Words.com. All rights resevered. Designed by